Thursday, December 6, 2012

සතර පෙර නිමිති





  • මහල්ලෙක්
  • ලෙඩෙක්
  • මළමිනියක්
  • පැවිද්දෙක්

රම්‍ය සුරම්‍ය සුභ මාලිග                   සෙවණ
සිදුහත් කුමරු හට හැම සුව සැප       ලැබින
යන විට නරඹන්න නෙක මල් පිරි     උයන
සතරක් පෙර නිමිති කුමරුගෙ බෙත ගැටින

දත් ටික වැටී ඇත සම රැලි ගැසී       ඇත
හැරමියක් ද ඇත වෙවුලන දුබල       අත
හෙමිහිට ගමන් යන මේ වක ගැසුණු ගත
මහලුය කියා කළකිරුණා කුමරු       සිත

හිස පොරවා දුබල ලෙසටය        හැසිරෙන්නේ
පාරේ තැනින් තැන නැවතී              ඇවිදින්නේ
ලෙඩ දුක් හැදෙන එක කොහොම ද සිදුවන්නේ
සිදුහත් කුමරු යයි ඒ ගැන              සිතමන්නේ

වැගිරෙන කඳුළු අත්ලෙන්   පිස පිසදාය
දුක කිය කියා හඬමින් උන්     වැලපේය
මළමිනියක් රැගත් පිරිසක හැටි     මේය
එය දැක කුමරු සිත කුහුලෙන් බරවේය

සැනසුණු සිතකි මේ පිබිදුණු  මුහුණක්ය
සන්සුන් බවකි මේ පින්බර     ගමනක්ය
පැවිදි වූ රුවකි සිත සැනසෙන දසුනක්ය
සිදුහත් කුමරු සිත පිබිදුණු     හැඟුමක්ය

තුන් මාලිගාවල සැපයෙහි නිමක්           නැත
සැප ලෙස පෙනෙනමේ හැම දේ දුකක් වෙත
හැම දුක් නිවන හැටි සොයනා මඟක්      ඇත
සිදුහත් කුමරු සිත ඇදුනා තපස            වෙත

No comments:

Post a Comment